රුහුණේ කිවිදිය - දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා
ගජමන් නෝනාගෙ පිලිරුව |
ඇගේ පියාගේ නම විරතාමුල්ල ගමගේ දොන්
ගජමන් නෝනා ජීවත් වු නිවස |
කොර්නේලියා ඉතා කුඩා අවදියේ දී පටන්ම ඉගෙනුමට සහජ හැකියාවක් දැක්වූවාය. අකුරු ඉගෙනීමට, කාව්‍ය නිර්මාණ කරණයට ඇය වැඩි කැමැත්තක් දැක්වූවාය. ඇගේ මේ දක්ෂතාවන් මනාව වටහාගත් ඇගේ මාමා කෙනෙකු වූ පත්තායමේ ලේකම් කොර්නේලියාගේ කවීත්වය දියුණු කර ගැනීමට උදව් කළේය. ඒ අනුව එවකට ලක්දිව ප්‍රසිද්ධ හිමි නමක් ළඟට ඈ රැඟෙන ගියේය. ඒ පුංචි කොලු ගැටයෙක් ලෙස වෙස් වලා ගෙනය.
එවකට ලංකාවේ කාව්‍යකරණයට ප්‍රසිද්ධ හිමි නමක් වූහ. ඒ කරතොට ධර්මාරාම නම් පණ්ඩිත නාහිමියෝ ය. උන්වහන්සේගෙන් අකුරු සතර හැදෑරීමට එවකට සිසුන් බොහෝ පිරිසක් සිටියහ. පිරිමි දරුවෙක් මෙන් කොණ්ඩය පැත්තට පීරා සරමක් බැනියමක් ඇඳ ගත් ඈ කරතොට ධර්මාරාම හිමි වැඩ වෙසෙන වේරගම්පිට විහාරයට ගියාය.ගජමන් ආරච්චිගේ පුතෙකු බවට තමා හඳුන්වා දෙමින් නුවර මල් වතු විහාරයේ නැවතී සිප් සතර හැදෑරුවාය. සිප් සතර නිම කොට නැවතත් ගම් බලා ගිය මේ කොලු ගැටයාගෙන් කිසිම තොරතුරක් කරතොට හිමියන්ට දැනගන්නට නොලැබිණි.දිනක් කරතොට හිමියන් බැහැදකින්නට ඈ ගියාය. ඇය කව්ද යන්න ගජමන් නෝනා කරතොට හිමියන්ට පැහැදිලි කර දුන්නාය. ඒ අවස්ථාවේදී කරතොට හිමියන් “ඔය ළමයා කරගත්තේ මහත් පාපයක්” යයි පැවසූ බව සඳහන් වේ.කාව්‍ය නිර්මාණ කරණයට තිබූ කැමැත්ත නිසාම ඇය එසේ කළ බව උන්වහන්සේට පැහැදිලි කර දුන්නාය. උන්වහන්සේගේ දෙපා මුල වැඳ වැටුණු ගජමන් නෝනා සමාව ඉල්ලා සිටියාය.කෙසේ වුව ද ඇය එසේ උපක්‍රම ශීලීව කාව්‍ය නිර්මාණ කරණය ඉගෙන නොගත්තා නම් ගජමන් නෝනා නමින් කිවිඳියක් ඉතිහාසයේ බිහි නොවන්නට ඉඩ තිබිණි.
කුඩා කොලුවකුගේ වෙස් ගෙන ගජමන්
ගජමන් නෝනා ජීවත් වු නිවසේ ඇති පුවරුවක් |
ගජමන් නෝනා මෙකල මාතර කිවිඳියක ලෙස ඉතා ජනප්‍රියත්වයකට පත්ව සිටියාය. ඒ නිසා ඇය ප්‍රදේශයේ උගත් බුද්ධිමත් ගිහි විද්වතුන් මෙන්ම ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් ඉසිලු මහා යතිවරයාණන් කිහිප දෙනකුම ඉතා සමීපව ඇසුරු කළා ය.
මෙම ඇසුර හුදු ශාස්ත්‍රීය පදනමක් මත ගොඩනැගුණ ඇසුරක් වුවද සමාජය එම සම්බන්ධතාව වැරදි දෘෂ්ටිකෝණයකින් අර්ථකථනය කළ බව පැහැදිලිය. ඇය එකල රුහුණේ ප්‍රකට භික්ෂුවක් ලෙස සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට සමාජයේ කට කතා පැතිර තිබීම මෙයට කදිම උදාහරණයකි. මෙම කටකතා පතුරුවන මිනිසුන්ට ඇය තමන්ගේ කවීත්වය යොදා ගෙන කදිමට ප්‍රහාර එල්ල කළාය. ඒ මෙසේය
වටිනා කියන මේ මගේ තුරුණු තුනු විල
සිටිනා මළුවේ සමිඳුට පුද කෙළෙමි බොල
සිටිනා මෙ ගම සහ දන ආවට ගම් වල
තුටිනා එපින් අනුමෝදන් වව් සියල
කිවිඳියක ලෙස ප්‍රකට වූ කොර්නේලියා රූමත් තැනැත්තියකි. ගවුම් සායකින් සැරසී බොස්තරුක්ක අත්දිග හැට්ටය ඇඳ ඇට මාලය පැළඳි බැවින් ඇය අවට ගම්වාසීන් “නෝනා” යයි ඇමතූ බව ජනප්රවාදයේ එයි. ගජමන් නෝනාගේ විවාහය සිදුවූයේ ගාල්ලේ සිටි ප්‍රකට කවියෙකු ලෙස සැලකෙන තල්පේ මෙරෙංචි ගෙයි ගාර්දියෙස් ආරච්චි සමඟිනි. නෙත් වශී කරගන්නා රූප ශ්‍රීයක් හිමි ගජමන් නෝනාට නිවසින් බැහැරව යන්නට පිටත්වන අවස්ථාවේ සිය සැමියා කවියෙන් අවවාද රාශියක් දුන්හ.
යන මේ ගමනේ සිදුවුණි නම් පරමාද
එන තුරු අන් දෙස නොබලන් සිතු පෑද
අල පත පැන් වැකි විලසින් නොව හාද
සිහිව ඉඳින් ළඳෙ මා දුන් අවවාද
මේ කවිය ඇසූ ගජමන් නෝනා සිය සැමියාට ඇසෙන සේ කවියට කවියෙන් පිළිතුරු දුන්නාය.
හිමියනි ගමන් වල අඟනුන් නොව හාද
එනු විගසින් එහි නොවමින් පර මාද
හිමියනි, දැන් ඔබ මට දුන් අවවාද
මම ඉවසම් මද රජ ඉවසුම් දේද..
විවාහයෙන් අවුරුදු දෙකක් පමණ ගිය විට ගාර් දියෙන් ආරච්චි මිය ගියේය. ඇයට මේ විවාහයෙන් “ජුවානිස් අල්විස්” නමින් පුතෙක් උපන්නේය.
ඇය නැවතත් දෙවෙනි විවාහයක් කර ගත්තාය. ඒ මුහන්දිරම් කෙනෙකි. මේ ඇගේ පියා විසින් බලෙන්ම කරවූවක් බවත් පැවැසේ. නමුත් නව සැමියා කෙරෙහි ආලවන්තකමක් ඇ කෙරෙන් ප්‍රකට වී ඇති බව පහත පැදි හුවමාරුවෙන් පෙනේ.
ගජමන් නෝනා හා විවාහයට කලින් මුහන්දිරම් තුමා, තමාට ගජමන් නෝනා කැමතිද බලන්නත් එක්ක මෙන්න මෙහෙම කවියක් ලීවේය.
මුලින් බැඳුනමුත් දැඩි පෙමයක් හදේ
කෙමෙන් එය නැතිවී නුඹ සිටි නිසා තදේ
මෙදැන් කියමි කරුණක් දැනගන්ට හොඳේ
නිවන් දකින තුරු මට නුඹ එපා ලඳේ
ගජමන් නෝනා මුහන්දිරම් උන්නැහේට කැමතිවෙලා හිටපු නිසා මෙහෙම කවියක් තල්පතක ලියලා යැව්වේය.
මුලින් ඔබ දුටුව දින බැඳුන පෙම හදේ
කෙමෙන් එය දැඩිවි අලි කළු ගලක් ලෙදේ
මෙදැන් ඔබගෙ බස මොන පුදුමයද වදේ
නිවන් දකින තුරු මා හැර කව්ද හොඳේ
ඇය නැවතත් දෙවෙනි විවාහයක් කරගත්ත ද දෙවන සැමියා ද අවුරුදු අටකට පසුව මිය ගියේය.
වැන්දඹුවක ලෙස ජීවත් වීමේ දී ගජමන් නෝනා ගේ ජීවිතයට එබිකම් කරමින් ඇය හා ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට උත්සාහ ගත් ප්‍රභූවරුන් අතර ඇලපාත මුදලිතුමාට හිමි වන්නේ වැදගත් තැනකි. ඇලපාත මුදලි යනු කරතොට නා හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂුවක්ව හිඳ පසුව උපැවිදිව කිතු දහම වැළඳ ගත්තෙකි.
ඇලපාත මුදලි ගජමන් නෝනා පිළිබඳව සිතේ ඇතිවන ආදරණීය හැඟීම් කවි පදවලට පෙරළා ඇයගෙන් ආදරය ඉල්ලා සිටියේ ය. ගජමන් නෝනා ආදරය මෙන්ම ගෘංගාරය ද මුසුව කවියෙන් ඉදිරිපත් වූ යෝජනාවලට කවියෙන්ම පිළිතුරු දුන්නාය. ඇලපාත මුදලි හා ගජමන් නෝනා අතර හුවමාරු වූ කවි, මාතර යුගයේ කවිය ඉතාම රසවත් කිරීමට හේතුවිය. ඇලපාත මුදලි ගජමන් නෝනාට ලියූ ශෘංගාරය මුසු කවියක් හා ගජමන් නෝනා එයට පිළිතුරු ලෙස ඉදිරිපත් කළ කවියක් ද මෙලෙස දැක්විය හැකිය.
ඇලපාත මුදලි
චන්ද සූරියා වැනි එළඳගෙ වුවන
ඉන්ද නීල දෙක වැනි ළමැද එන තන
අන්දකාරයට ඇවුළු පහන මෙන
කින්ද තනි යහන නිදියන්නේ නෝන
ගජමන් නෝනා
බැන්ද මගේ හිමි පරලොව ගිය බැවින
නින්ද මෙමට පුරුදුය තනියම යහන
වින්ද රති සැපත මට මතක නැති වුණ
කින්ද තමුසේට විමසන්න කාරණ
දෙවැනි විවාහයෙන් ඇයට දරුවන් තිදෙනෙක් ලැබුණත් ඉන් තෙවැනි දරුවා රෝගයකින් මිය ගියේය. මේ සිදුවීම් වලින් මහත් ශෝකයෙන් සිටි ඇයට පිහිටට හිටියේ පියා පමණි. එහෙත් පියාගේ මියයාම ඈ තවත් අසරණ තත්ත්වයට පත් කරන ලදී. සෝභිත හිමියන් බැහැදැකීමට කසාගල් විහාරයට ගිය ගජමන් ආරච්චි මහතා කසාගල සිට තංගල්ලට එන මාර්ගයෙදී වල් අලියෙකු විසින් පහර දෙන ලදුව 1801 දී පමණ මිය ගිය බව දැඩිතර ශෝක මාලයේ දැක්වේ.
මව්පියන් මිය යාමෙන් ඇය මහත් දුකට පත් වූ බව ඇය කවියෙන් ප්‍රකාශ කරන්නීය. ගජමන් නෝනාගේ දෘඩ ශක්තිය වූ ඇයගේ පියාගේ මරණයෙන් පසුව අපමණ කම්පනයට පත් ගජමන් නෝනා ශෝකාත්මක හැඟීම් තීව්ර කරනා අන්දමින් කවි ගෙතුවා ය. ශෝකය ඉස්මතු කිරීමට එළිසමයත් පද හරඹයත් අපූරුවට කැළතීමට ඇය එහිදී සමත් විණි.
සොබමන් සක නිරිඳු වසින් එක්
දහසින් සත් සියක් වෙමින් විසී
දෙකවන් මස මැදින’ව - ජලවක ගුරු දින පැමිණීලා
දිනිඳුන් නර ලොවට - සැපත් දස පායකින් බුද හෝරාවෙන්...
මාතර යුගයෙය් ජීවත් වූ කවීන් මෙන්ම කිවිඳියන් ද නිර්මාණ කරණයේදී උසස් නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කළෝය. ඒ අතර රෑණ හාමිණේ, අත්තරගම කුමාරිහාමි, විජේකෝන් මැතිණිය දෝන ප්රැන්සිනා දිසානායක ළමාතැනී, සබේ විදානේ සොයුරිය මෙන්ම අන්දරේ, වරණගණිත, පයිප්පු ආදී කවීන්ගේ භාර්යාවෝද කවිකාරියෝ වුහ. මේ කිවිඳියන් අතරින් ප්‍රමුඛස්ථානය ගජමන් නෝනාට ලැබුණි.
ගජමන් නෝනා සමකාලීන කිවිඳියන් අතරින් උගත්කමින් මෙන්ම කවීත්වයෙන් ඉහළම තැනක සිටි කිවිඳියකි. නමුත් පසු කාලීනව ඇගේ දිළිඳු කම නිසා ම ඇයට ඇගේ හැකියාවන් ඔප් නංවා ගැනීමට
හැකියාවක් ලැබුණේ නැත. ඇය පසුකාලීනව කවි ලීවේ ඇගේ දරුවන් ජීවත් කරවීමටය.
දැඩිතර ශෝක මාලය |
සිංහල සාහිත්‍ය පරිහානියයට පත් වූ අවදියක් ලෙස මාතර යුගය හඳුන්වා දිය හැක. එවන් යුගයක ඉතා වෙහෙස මහන්සියෙන් කාව්‍ය ශාස්ත්‍ර ඉගෙන ගත් දක්ෂ කාන්තාවක් ලෙස ගජමන් නෝනා ගෞරවාදරයට පාත්‍ර වේ. මාතර යුගයේ කවීන් ඇසුරු කළ ජෝන් ඩොයිලි ගජමන් නෝනාගේ කවි ඉතා ඉහළින් අගය කළේය. ආර්ථිකමය වශයෙන් ඉතා අසීරු තත්ත්වයකට පත් වී සිටි ගජමන් නෝනා තමන්ගේ කවි හැකියාව කරණ කොට ගෙන තමා පත්ව ඇති තත්ත්වය පැහැදිලි කර පිහිටක් වන ලෙස ජෝන් ඩොයිලි ගෙන් කවියෙන් ඉල්ලීමක් කළාය.
නොහිමි සිරි පිරි ඇංගලන්තය දේසයෙන් සැපසේ උදුල්
දිලුම් තෙද කිත් ජෝන් ඩොයිල් නම් දිසා සමිඳුනි ගුණ නිමල්
කුසුම් මිණි මුතු බෝග ගම් බිම් කිසිත් නැත මට මේ සියල්
උතුම් දෙවියන් නමට පිහිටක් වෙන්ඩ නමදිමි පා කමල්
මෙම ඉල්ලීම අනුව ඇයගේ කවීත්වයට ගරු කිරීමක් ලෙස මාතර දිසාපති ධුරය දැරූ ජෝන් ඩොයිලි අම්බලන්තොටින් ඇයට ගම්වරයක් ලබා දුන්නේය. එම ගම "නෝනාගම" නමින් අද ද ප්රකටය. මෙරට පද්‍ය සාහිත්‍ය තුළ අමතක නොවන නාමයක් අති කළ ගජමන් නෝනා කිවිඳිය 1814 දෙසැම්බර් මස 15 දින අවසන් හුස්ම හෙළීමට සූදානම් ව මරණ මංචකයේදී ද කවියක් ලිව්වාය.
සකවසිනෙක් දහස් සත්සිය සතිස් වස
වකලද තෙළෙස් උඳුවප් අවගුරු දවස
නෙක ගුණ දෝන ඉසබෙල් පෙරුමල් දිගැස
සකපුර පැමිණ දිවසිරි සැප විඳින ලෙස
ගජමන් නෝනා සිහිකිරීම උදෙසා අම්බලන්තොට නෝනාගම හන්දියේ ඇයගේ පිළිරුවක් ඉදිකර ඇත. සිය ජීවිතයේ අවසාන කාලය හුදෙකලාව ගත කළ ඇය වසර 56ක් ආයු වලදා 1814 දෙසැම්බර් මස 15 වැනි දින අභාවප්‍රාප්ත වූවාය.
ගජමන් නෝනා විසින් රචිත පද්‍ය
i. දෙනිපිටිය නුගරුක වැනුම
ii. පියා මරණය පිළිබඳ ශෝකාලාපය
iii. ඇලපාත මුදලි හා හුවමාරු කවි
iv. වෙනත් සමකාලීන උගතුන්ට ලියූ කවි
v. චතුරශ්‍ර ජාලම, ශඩරචක්‍ර බන්ධන දුෂ්කර බන්ධ
vi. ජනකවි සම්ප්රදායේ රචනා
vii. තිලකරත්න දිසානායක මුදලිට සෙත්පතා ලියූ කවි
viii. තිලකරත්න මුදලිට සෙත් පැතූ දුෂ්කර බන්ධනය
ix. තිලකරත්න ළමාතැනී කළ පින්කම් වරුණ
x. සමරසේකර ගුණවර්ධන ගජනායක නිලමේගේ මරණය පිළිබඳ කවි
xi. සේවි වික්රමාරච්චිට සෙත්පතා ලියූ කවි
xii. තිලකරත්න මුදලිගෙන් පිහිට පතා ලියූ කවි
xiii. සහබන්දු මුදලිගෙන් ආධාර පතා ලියූ කවි
xiv. ජෝන් ඩොයිලි දිසාපතිට ආධාර පතා ලියූ කවි
xv. විවිධ අවස්ථාවන්හි කියූ කවි
xvi. දැඩිතර සෝක මාලය ඇය විසින් ලියා ඇති දීර්ඝතම කවි පොතයි.
ඇත්තෙන්ම ගජමන් නෝනා ගැන ලිවීමට සිතුන ප්‍රධානම හේතුවක් වූයේ කලක් ජාතික රූපවාහිනියේ විකාශය වූ ගජමන් නෝනා ටෙලි වෘත්තාන්තයේ තේමා ගීතය ලෙස වාදනය වූ නන්දා මාලනී මහත්මිය ගායනා කරන විශිෂ්ඨතම ගීතයක් වන "ජීවිතය කවියක්" යන ගීතයයි. ගජමන් නෝනාගේ දිවිය ගැන පමනක් නොව අපගේ ජීවිතය ගැනද දක්වන කැඩපතක් බදුවූ එම ගීතය මාගේද ප්‍රියතම ගීතයකි.
ගජමන් නෝනාගෙ පිලිරුව |
දැඩිතර ශෝක මාලය |
ගජමන් නෝනා ජීවත් වු නිවසේ ඇති පුවරුවක් |
ගජමන් නෝනා ජීවත් වු නිවස |
Comments
Post a Comment